ජනාධිපති කෙනෙක්ව නීත්‍යානුකූලව "පන්නන්නේ" කොහොමද?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජන ඡන්දයකින් පත්වන ජනාධිපතිවරයාට වසර 5 ක් තම ධූරය හෙබ වීම⁣ට බලය හිමි වේ. ධූර කාලය නිමා වීමට පෙර ජනාධිපති ඉවත් වීම හෝ ඉවත් කිරීම සිදු කළ හැකිද?

ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය හිස් වන ආකාර 6 ක් ඇත.

  1. ඔහුගේ මරණය
  2. තමාගේ අතින් ලිවූ ඉල්ලා අස්වීමේ ලිපියක් කථානායකට භාර දීම
  3. ඔහුගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වීම
  4. පත්වීමෙන් සති දෙකක් තුළ සේවයට වාර්තු නොකිරීම
  5. දෝශාභියෝගයක් මඟින් ඉවත් කිරීම
  6. ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය තමන්ට පැවරී ඇති බලතල අනුව 130 (a) වගන්තිය යටතේ නීත්‍යානුකූලව ජනාධිපති කෙනෙක් පත් නොවූ බව තීරණය කිරීම

ඉතින් වර්තමාන ජනාධිපති මිය යන්නේ නැත්නම් හෝ ස්වකැමැත්තෙන් ඉල්ලා අස් වෙන්නේ නැත්නම් ඔහුව ඉවත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවෙන් එල්ල කෙරෙන දෝශාභියෝගයක් මඟිනි. මෙය සිදු වන්නේ කෙසේද? මෙය අදියර කිහිපයක ක්‍රියාවලියකි.

  1. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විසින් ජනාධිපතිට කායිකව හෝ මානසිකව ධූරයේ රාජකාරි සම්පූර්ණ කිරීමට නොහැකි බව හෝ පහත චෝදනාවලට වැරදිකරු බව ලිඛිතව දැනුම් දීම.

    i) සිතා මතා ව්‍යවස්ථා උල්ලංඝනය
    ii) රාජද්‍රෝහී ක්‍රියාවක්
    iii) අල්ලස් ගැනීමක්
    iv) තමාගේ බලයන් අයුතු ලෙස භාවිතය
    v) සදාචාරාත්මක ගැටළු මතු වන ඕනෑම නීතියක් කඩ කිරීම

  2. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් (113 හෝ වැඩි) පමණක් සම්මත වූයේ නම් එම යෝජනාව කතානායක විසින් සලකා බැලිය යුතු වේ. ඔහු විසින් මෙම චෝදනා වලංගු බවට තහවුරු කළේ නම් පමණක් ඉන්පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබේ. චෝදනා වලංගු නොවන බව කතානායක තීරණය ක⁣ළහොත් එම යෝජනාව ඉදිරිය⁣ට විභාග වන්නේ නැත. නමුත් මෙම යෝජනාව 2/3 න් සම්මත නම් (150 ක් හෝ වැඩි) කතානායකගේ අදහස අදාළ නොවේ. එය කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු වේ.

  3. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම චෝදනාවල සත්‍ය අසත්‍ය බව සොයා බැලිය යුතු වේ. ජනාධිපති හෝ ඔහුගේ නීතිඥයාට අධිකරණයේ පෙනී සිටීමට සිදු විය හැක.

  4. චෝදනා සත්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන් පසු පාර්ලිමේන්තුවේ නැවත 2/3 ක සම්මුතියකින් ජනාධිපති ධූරයෙන් පහ කෙරෙනු ලැබේ.

මෙය කෙතරම් සංකීර්ණද සහ කල් ගත වන දෙයක්ද බව ඔබට වැ⁣ටහෙනු ඇත. මෙය මෙතරම් අසීරු ලෙස සකස් කර ඇත්තේ මහජන පරමාධිපත්‍යයෙන් වසර 5 කට පත් වන ජනාධිපති ඉතා වගකීම් සහගත තනතුරක් නිසායි. ඔහුව පහසුවෙන් ඉවත් කිරීමට ඉඩක් දෙන්නේ නැත.

කෙසේ නමුත් නීතිමය කටයුතුවලින් දෝශාභියෝගයක් සම්මත කර ගැනීම ඉතා අසීරු වූවත් “ක්‍රියාකරන මොළයක් ඇති පුද්ගලයෙක්” නම් දෝශාභියෝගය තමන්ට අවාසි සහගත ලෙස ප්‍රගමනය වන බව අවබෝධ කර ගත් පසුව ඉල්ලා අස් වනු ඇත.

ඒ නිසා මේ මොහොතේ වැදගත් දෙයක් වන්නේ මන්ත්‍රීන් 150 ක් මෙයට අත්සන් කරන ලෙසට යොමු කිරීමයි.

#GoHomeGota2022

10 Likes